Monday, January 3, 2011

ගිම්හාන සිතුවම - 3

පැයෙන් පැය ගෙවිල යනව. ඕපන් කරන් හිටි ෆේස්බුක් පිටුව වහල දැම්මෙ කැමැත්තෙන් නෙවෙයි. ඒත් ඒ රූපෙ හිතේ හොඳට ඇඳිල තියෙන්නෙ. දැන් තියෙන්නෙ බලාපොරොත්තුවක් හිතේ තියන් ඉන්න එක තමයි. කුතුහලයයි, දුකයි හැමදේම එකට එකතු වෙලා. මොනව හරි වෙනව වගේ කියල මට දැනුන. මත එයගෙ පිංතූර ටිකක් දකින්න තිබුන නම්, ඒත් කොහෙද. මම එයාගෙ යාළුවෙක්වත් නෙවෙයි නෙ. ශික්...!!! මම ගෙදර යන්නෙ හරිම හිතේ දුකකින් අද. ඒත් හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. කවද හරි එයා ආයෙත් ඔන්ලයින් එන්නෙ නැතෑ. එදාට කියනව හැමදේම. මුලින්ම හොඳ යාළුවෙක් වෙනව. ඊට පස්සෙ හැමදේම කියනව. මට වෙන කරන්න දෙයකුත් නෑ.

එදා දවස මං ගෙව්වේ හරිම අමාරුවකින්. නිකන් මුළු ලෝකෙම හිටියත් මම තනිවෙලා වගේ. මං හිතන්නෙ මං එයාට හිතෙන් ආදරේ කරන්න පටන් අරන්. ඒත් කවුද දන්නේ ඒක මිරිඟුවක් වේවිද කියල? රුවේන්... රුවේන්... රුවේන්... මගේ හිතේ මිමිණෙන එකම නම වෙලා වගේ. ඒත් මං ඒකට ඉඩ දෙන්න නරකයි. කවදාවත් කතා කරලවත් නැති කෙනෙක්ට මං මොකටද ආදරේ කරන්නේ දැකපු පලියට? තව ටික දවසක් ඉවසනව.

ඒ දැකපු පිංතූරෙ මට අමතක නෑ. මම ඒ පිංතූරෙ මගේ පෙන් ඩ්‍රයිව් එකෙත් සේව් කර ගත්ත. දැන් ඒක මගේ ෆෝන් එකේ. හැම තිස්සෙම දැන් බලන්න පුළුවන් නේ. හ්ම්ම්... හෙට දවසෙදිවත් එයා මගේ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරාවිද? නැත්ද? අනේ මන්ද මට පිස්සුද කොහෙද. ඇයි මම කොල්ලන්ට කැමති වෙන විදියේ කෙනෙක් වුනේ? ඇයි? මේ කිසි දුකක් නෑ නේ එහෙම නොවුන නම්. හැමෝටම කෙල්ලො ඉන්නව, හැමෝම කෙල්ලො එක්ක හැම සැපක්ම අරන් තියෙනව. ඒත් මං විතරක් මේ කොල්ලන්ගෙන් ලබන සැප මොකද්ද? ඒක මට වෙලාවකට හිසරදයකුත් වෙනවා. ඒත් ඒ මගේ ලැබීම කියල හිත හදා ගන්නව. ඒ මොන දේ වුනත්, රුවේන් මගේම වුනොත් එදාට ඔය හිසරද හැම දේම හොඳවේවි. ඒක මත හිතෙනව.

රෑට කාලා මම ඉන්ටර්නෙට් එකට ආව රුවෙන්ව බලන්න. රුවේන් හිටියෙ බිත්තියකට හේත්තු වෙලා. එයාට ලස්සන ඇස් දෙකක් තිබුනෙ. සුදුම සුදු කොල්ලෙක්. හිත ඇදිල යන පෙනුමක්. ඒ වගේම මගේ ටයිප් එකේ මම කැමති වෙන පෙනුමක් තියෙන කොල්ලෙක්. කොණ්ඩෙ උඩට පීරල, හැන්ඩියට ඉන්න සාමාන්‍ය කොල්ලෙක් පාටයි. මං අඩු ගානෙ දන්නෙවත් නෑ එයාගෙ වයස. අයියෙක්ද මල්ලියෙක්ද දන්නෙත් නෑ. හෙට ඔෆිස් ගිහින්ම බලනවා. හෙටත් එයා ඔන්ලයින් ආවොත්, මගේ හීනෙ හැබෑ වෙන්න හරි බොඳ වෙන්න හරි පුළුවන්. එක්කො එය නේන තරමට හොඳයි. ඒත් මම පිච්චිල මැරේවි හිතේ තියෙන කැමැත්තට.

බලමු. හෙට නෙවෙයි තවස සතියකින් හරි මාසෙකින් හරි එයා මට රිප්ලයි කරාවි නෙ. එතකන් හිතට බරක් නොදී ඉන්නව. කවදාවත් මෙහෙම වෙලා නැති මට අද හැමෝටම වඩා රුවේන්ව හිතේ ඇඳිල. බලමු මෙයාගෙ යාළුවන්ගෙන්වත් එයා මොන වගේද කියල තේරෙනවද කියල. අහ්!!! මට අමතක වුනා නෙ. එයා තාම යාලුවෙක් නෙවෙයි නෙ. හැම දෙයක්ම ඉස්සරහට යන්න එක පිම්මක් ඕනේ. ඒ එයාගෙ ප්‍රතිචාරය. ඒක නැතුව තමයි මම මෙච්චර වද වෙන්නෙ.

ඉන්ටනෙට් එකෙන් ගැලවිල මම නිදන්න ගියා. වැඩත් මහා ගොඩක් කියල නෑ. ඔහේ රවුම් ගහලා දත් මැදල ඇඳට ආව. මට මතක් වෙනව රුවන්ත අයියවත්. ඒත් එක්කම මගේ රුවේන්වත්. ඒ දෙන්න කොයි තරම් වෙනස් දෙන්නෙක්ද? රුවන්තගෙන් ඈත් වෙලා මාසයක්වත් ගියේ නෑ. මගේ ජීවිතේට තවත් කෙනෙක් එන්නයි යන්නෙ. තාම ආවෙ නැතත් එයා ඒවි. මේ වගේමයි මට රුවන්ත අයිය ගැන හිතුනෙත්. ඒත් පස්සෙ අපි දෙන්නගෙ හිතැඟියන් ගැලපුනේ නෑ. සහෝදරයො වගේ ඉන්න තීරණය කරත්, ඒකට මගේ හිත ඉඩ දුන්නෙ නැති තරම්. එයා වඳින පුදන බුදු හාමුදුරුවන්ටමයි මාත් වඳින්නෙ. ඒත් එයාට ඒ හොඳ හිතෙන් මට දැනෙන්න ආදරේ දෙන්න තිබුන නම්, අදටත් මං රුවන්ත අයියා ගාව. එයා හොඳ කෙනෙක්. ඇයි රුවන්ත අයියෙ මට ඔයාගෙන් ඈත් වෙන්න සිද්ධ වෙන විදියට මං ගැන තැකීමක්වත් නොකළේ? බලන්න අද මට තවත් කෙනෙක් ඇහැට පෙනුනා. හෙට තවත් කෙනෙක් පෙනේවි. මං කා ගැනවත් නොහිත ඔයා වෙනුවෙන් ආදරෙන් හිටියත් ඔයා සංසාරෙ දිග කෙටි කර ගන්නයි ගොඩක් උත්සාහ කරේ.

මගේ ඇස් වලට කඳුළු පිරුනා. ඒත් එක්කම මම මගේ ෆෝන් එකේ හිටි රුවන්ත අයියගේ රූපෙ බැලුව. මම කඳුළු කොහොම හරි නවත්ත ගත්තා. "මට සමාවෙන්න රුවන්ත අයියේ. මං ඔයාට වරදක් කරා. ඒත් ඒක නොකරොත් අපි හැමදාමත් දුක් විඳීවි. මට සමාවෙන්න." රුවේන්ගෙ රූපෙ ආයෙමත් බලල මම නිදා ගත්ත හෙට දවස ගැන බලාපොරොත්තුවකින්.

Sunday, January 2, 2011

ගිම්හාන සිතුවම - 2

ඒ 2009 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ. සුපුරුදු විදියටම උදේ ඇහරලා වැඩට යන්න මං ලෑස්ති වුනා. අනිත් හැමෝටම නිවාඩු දීල. ඒත් මං විතරක් වැඩට යනව. හීතල කාලෙ හින්දා ගෙදෙට්ත වෙලා නිදා ගන්න තිබ්බ නම් කොච්චර දෙයක්ද කියලා හිතුන වාර අනන්තයි. ඒ කාලෙට උදේට නැගිටිනව කියන්නෙ මරන්න වගේ. ඒත් බැහැයි කියල බෑ නෙ. මගේ හිත කලකිරිල තිබ්බ කාලයක් ඒක. ආදරයක් හින්ද හෙම්බත් වෙලා අන්තිමත ආදරයක් අතඇරලා දැම්ම කාලයක්. ඒ ආදරේ නැවතිලා වැඩි දවසක් ගිහින් තිබ්බෙ නෑ. ඒත් හිතේ තිබුනේ දුකකටත් වඩා කළකිරීමක්. මොනා කරන්නද කියල හිතා ගන්නත් බෑ. ලොකු පාළුවකුත් දැනෙනවා. අලුත් ආදරේක ඕනැකමකුත් දැනෙනවා. මගේ හිතේ දැන් තියෙන්නෙ හෙම්බත් වුනු ගතියක්.

ඇඳුම් ඇඳල ලෑස්ති වෙලා එහෙම වෙනද වගේම වෙලාවට එදත් මං වැඩට ගියා. මහා ලොකු වැඩක් නම් නොතිබුන ගානයි. කොහොමත් අපේ වැඩපළේ ගොඩක් දෙනා ඉතින් හැම තිස්සෙම ෆේස්බුක් එකේමයි. ගේම් ගහනවා, කමෙන්ට් කරනවා එක කෙලියයි. මගෙත් ඉතින් වැඩි වෙනසක් නෑ. මාත් ඉතින් හැමෝම වගේ ඕකෙ තමයි දවසෙම. වැඩ වැඩියෙන් තියෙන කාලෙට නම් ඕක පැත්තෙ යන්න ලැබෙන්නෙවත් නෑ. ඒත් මේ දවස් ටිකේ ටිකක් නිදහසේ ඉන්න පුළුවන්.

සැරින් සැරේ මගේ කලින් ආදරෙත් මතක් වෙනව. ඒත් මොනව කරන්නද? මට ඒ ගැන දැන් හිතන්න බෑ. ඒක ආයෙත් පටන් ගත්තොත්... කලින් වගේම මට දුකෙන් ආදරේ කරන්නයි වෙන්නේ. මං කොහොමද හාමුදුරු කෙනෙක් වගේ හිතන කෙනෙක් එක්ක ආදරේ කරන්නේ? ඒත් මං එයාට ඇත්තටම ආදරේ කරා. ඒත් ඒ ආදරේ එයාට තවත් අනිත්‍ය දෙයක්. මට මගේ ජීවිතය වගේ තිබුනෙ ඒ ආදරේ. ඒත් රුවන්ත අයිය හිතාගෙන හිටියේ මම එයාට ආදරේ කරන්න ගත්තේ එයා කුඩු ගහලා පුනරුත්තාපනය වෙලා හිටියයි කියපු කතාව අහලා දුක හිතිලා කියලයි. ඒත් මං ඒ දේ නිසා නෙවෙයි රුවන්ත අයියට ආදරේ කරන්න ගත්තේ. ඒකත් මාස හතකින් බොඳ වෙලා ගියා. ඒත් එයා හොඳ කෙනෙක්. මොනා කරන්නද. හැටකට විතර ආදරේ කරන්න වෙන එක මගේ දෛවයේ ලියවුනු දෙයක් වෙන්න ඇති. මොකද රුවන්ත අයිය මගේ හයවෙනි ආදරේ. අංකය කොහොම වුනත් ඒ සම්බන්ධයත් මට ලැබුණු ලොකු අත්දැකීමක්.

ෆේස්බුක් එකත් දැන් හරිම බෝරිං. කවුරුත් නෑ කතා කරන්නවත්. තියෙන ගේම් හිටන් දැන් ගහලම ඇති වෙලා. ඔෆිස් එකෙන් බාගෙකට වඩා එළවළු වවනව හිටු කියල. තව සමහරු බෝල ගහනව. මම උඩ බලන් කල්පනා කර කර ආදරේ ගැන හිතනවා. ඒ අතරේ අනම් මනම් නම් ටයිප් කරල ෆේස්බුක් එකේ සර්ච් කරනව. කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි හිතට එන නම් මතක් කර කර ටයිප් කරනව.

ඔය අතරෙම එක පාරම මගේ ඇස් එක වෙලාවකදි සර්ච් රිසල්ට්ස් වල එක තැනක නතර වුනා. මම තාමත් බලාගෙන ඒ දිහා. මම හිතන්නේ මගේ හුස්ම නතර වුනා වගේ. පපුව ගැහෙන්න ගත්ත. මට ඒ සද්දේ ඇහෙනවා වගේ. ඇඟට දාඩියත් දාන්න වගේ ගත්තා. මට හිතුනා මම මේ බලන් ඉන්නේ කා දිහාද කියලා. රුවේන් සේනාධීර. මේ මම කලින් ආදරේ කරපු රුවේන්මද? මං කලින් වතාවකදි රුවන්තත කලින් ආදරේ කරපු රුවේන්? ඒත් සර්නේම් එක වෙනස්. ඒ මුහුණුවරමයි. මේ එයාවත්ද? නෑ නෑ එයා වෙන්න බෑ. මේ වෙන කෙනෙක්. ඒත් මට පුළුවන් වෙයිද රුවේන්ට වචනයක්වත් කියන්න? මට මුකුත් ඒ වෙලාවේ හිතා ගන්න බෑ. ඒ ප්‍රොෆයිල් පින්තූරෙ මගේ හිතට ගොඩක් කිට්ටුයි වගේ දැනෙනව. ඒ ඇස් දෙක, ඒ පෙනුම, ඒ හැම දේම..... මගේ ජීවිතේ ඒ වගේ හිත ඇදුන කොල්ලෙක් කවදාවත් දැකල නෑ. සංසාරෙ බැඳීමක් වගේ. ඒත් මෙයා...., මෙයා කොහොම කෙනෙක් වේවිද? තවත් පිරිමි ළමයෙක්ට කැමති වෙන විදියේ කෙනෙක්ද? ප්‍රශ්ණ කන්දරාවක් මැද්දෙ මම තනිවෙලා. මට මෙයාගෙ ලඟට කවදාවත්ම යන්න බැරි වුනොත්? මට තේරෙන් නෑ මේ දේ. හරි, මම කෝකටත් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දානවා. එයා ඒක ඇක්සෙප්ට් කරොත් එතනින් එහාට සිද්ධ වෙන දෙයක් වුනාවෙ. මේක ඇක්සෙප්ට් කරොත් මෙසේජ් එකක් දානව. ඊට පස්සේ බලමු මොකද වෙන්නෙ කියල.

Saturday, January 1, 2011

ගිම්හාන සිතුවම - 1

"ඇයි සුදූ ඔයා මට කිසි දෙයක් නොකීවේ? ඇයි මම අහලත් ඔයා මට මුකුත්ම මෙච්චර කාලයක් තිස්සෙ කිව්වේ නැත්තේ? මට බෑ මේ දුක දරා ගන්න අයියේ. මම ඔයාට කොච්චර නම් ආදරේ කලාද සුදූ. එදා ඉදන් මේ වෙනකම්ම මම කී වතාවක් නම් ඔයාගෙන් අහන්න ඇත්ද ඔයා වෙන කෙනෙක්ට ආදරේ කරනවද කියලා. ඇයි මට අද වෙනකන් ඒ බවක් නොකීවේ? අද මම ඒ බව හොයා නොගත්ත නම් ඔයා අදටත් ඒක මගෙන් හංගනවා අයියේ."

කඳුළු කැට පොදි බැඳන් එක දිගට මහ ගඟක් වෙද්දී මම ඔළුව තියාගෙන හිටි කොට්ටය එකම කඳුලු සාගරයකින් තෙතබරිත වෙලා තිබුණා. මම රුවේන් අයියාට කොයි තරම් ආදරය කරනවාද කියන එක මගේ කාමරය හොඳින්ම දන්න දෙයක්. මම වගේම මගේ කාමරයත්, හිතේ තද කරගත්තු දුකින් කාලය ගත කරේ මගේ ආදරය කොයි තරම් ගැඹුරුද යන්න ගැන සාක්ෂි ගොන්නක් හංගාගෙනයි. සමහර විට ඒ ආදරය දන්නේ මමත් මගේ කාමරයත් විතරක්ම වෙන්න ඇති.

"මං දන්නවා ඔයා මට ගොඩක් ආදරේ බව මල්ලි. මට ඔයා තරම් කිසි කෙනෙක් ඔය වගේ ආදරේ කරලා නැතුව ඇති. මම ඒ දේ නොකිව්වේ ඔයාට මේ බව වෙන බව දන්න නිසා. කවද හරි ඔයා ඒක නිසා පිස්සුවක් නටයි කියල හිතලයි." රුවේන් අයියාගෙන් ඒ වචන ටික පිටවෙද්දී මට දැනුනා එයාගෙ කම්මුලත් තෙත් වෙලා තියෙන වග.

"මං මේ දේ ගැන මේ දේ පටන් ගනිත්දිම ඇහුව සුදූ. ඇයි ඔයා මට ඒ වෙලේ නෑ කියලා කිව්වේ? ඇයි? එදා ඒ දේ කිව්ව නම් අද මෙහෙම දුකෙන් මං අඬන්නේ නෑ, මේ තරම් ලොකු බැඳීමක් හිතේ ඇති කර ගන්නෙත් නෑ සුදූ. ඒ හැම දේම තේරුම් අරන් මං එහෙනම් ඉන්නව. ඇයි ඔයා මට බොරු කිව්වේ? මේක හැංගුවේ?

ඔයාට මතකද ඔයා මට ඔයා කැමති ගර්ල් කෙනෙක් ගැන කිව්ව අපේ ගෙදර ආපු දවසේ? ඒ ගැනත් ඔයා කිව්වේ අහම්බෙන් ඔයාගෙ පෙන් ඩ්‍රයිව් එකේ තිබ්බ එයාගෙ ෆොටෝ මං දැක්ක හින්ද. එදා ඉඳන් මට හිතුන ඔයා මට මොනවා හරි හංගනවා කියලා.

ඒත් මම හිතුවේ නෑ ඔයා එදා මට පෙන්නුව තිසරු කියන ගර්ල් එක්ක අවුරුදු 2ක් තිස්සෙම ආදරේ කරනවයි කියල. ඇයි සුදූ මෙහෙම කරේ? මම මේ දේ ලඟදිත් ඇහුවා. මම කොහොමද මින් එහාට සතුටින් ඉන්නෙ සුදූ?

ඉතින් මට මොනවද කරන්න කියන්නේ? මම එයා හිටියයි කියල තමුසෙට අඩුවක් කරල තියෙනවද? මම එහෙම දෙයක් ගැන දැනෙන්නවත් දුන්නෙ නෑ. ඒක කවද හරි වෙන්න තිබුණ දෙයක්. එදාටත් ඔයා මේ වගෙම වේවි. මම කැමති නෑ තමුසෙ හොටු කඳුළු පෙරන් ඉන්නව දකින්න. මම ඒකි ඉඳලත් කවදාවත් නොකරපු දේවල් ඔයත් එක්ක කරා මල්ලි, මං ඒ කැප කිරීම කරා ඔයා හින්දා. ඒ මගේ හිතෙත් ඔයා වෙනුවෙන් හැඟීමක් තිබුණ නිසා. මම දන්නෙ නෑ ඒක මොන හේතුවක් නිසා සිද්ධ වුනාද කියලා.

ඔයා අඬන්න එපා සුදූ. මට විතරක් අඬන්න දෙන්න අයියේ. ප්ලීස්... මට පොරොන්දු වෙන්න මගෙන් කවදාවත් ඈත් වෙන්නෙ නෑ කියල මොන ප්‍රශ්නෙකදිවත්? මැරි කරාට පස්සෙ සහෝදරයෙක් වගේ හරි ඉන්නව නේද සුදූ?"

ඒ දවස මට කවදාවත් අමතක වෙන්නේ නැති දවසක්. රුවේන් අයිය මට තමුසෙ කියල කතා කරත් හිතේ ආදරේ තිබ්බ මං වෙනුවෙන්. ඒ එයාගෙ හැටි. මම කවදාවත් ඒ දේ මෙච්චර ඉක්මණින් බලාපොරොත්තු වුනේ නෑ. ඒත් මගේ අවසාසනාවට මට ඒ දේ මේ තරම් ඉක්මනට අහන්න ලැබුනා. මම අදටත් ඒ දවස ගැන මතක් කරලා දුක් වෙනවා. 2010 ඔක්තෝබර් 22 කියන්නේ මගේ ජීවිතේට දුක අලුත් විදියකට ආපු දවසක්. එදා තමයි අපි දෙන්නම දෙන්න ගැනම දුක හිතිල අඬපු අන්තිම දවස.

තවමත් මගේ කඳුළු වල සැර අඩු වෙලා නැති ගානයි. හිතන හැම මොහොතෙම මතක් වෙන්නේ රුවේන් අයියගේ හිනාව. ඒ හිනාවයි, එයා මට එයාගේ හිතේ තිබුණු පුංචි ආදරෙන් කරපු සැලකිලි ගැන හිතෙද්දියි මගේ ඇස් කඳුලින් තෙත් වුනේ කාගෙවත් අවසරයකින් නෙවේ. ඒත් අද ඒ සතුට ඉබේම මැකිලා ගිහිල්ලා. හිතා ගන්නවත් බෑ මෙච්චර කලක් මගේ හිතේ තිබුණු ආදරයට මේ තරම් වෙනස් නොවෙන දුකකුත් එකතු වේවි කියලා.

ගිම්හාන සිතුවම් - තවත් අසම්මතයේ පෙමක්

ගිම්හාන සිතුවම් කියන්නෙ තවත් අලුත් අසම්මත සම්බන්ධයක් ගැන කියවෙන කතාවක්. තාරුණ්‍යයේ රස හරි හැටි විඳින්නට අපොහොසත් වුනු කොල්ලෙක්ගේ ආදර කතාවක්. හසිරු එහෙම කෙනෙක්. එයා කිහිප වතාවක්ම අසම්මත සම්බන්ධතා පවත්වලා තිබුනත්, කීප දෙනෙක්ටම ආදරේ කරල තිබුණත් එයාට හිතෙන් හැම තිස්සෙම ලඟින් ඉන්න පුළුවන් ආදරයක් මුණ ගැහිලා තිබුනේ නෑ.

ඒත් එක වතාවකදි හදිසියේම එයාට එයා කැමති පිරිමි ලමයව මුණ ගැහෙනවා. ඒ මුණ ගැහීම කොයි තරම් කාලයක් තියේවිද? කොහොම වේවිද? කොහොම ඉවර වේවිද? ඒක කවුරුත් දන්නෙ නෑ. කියවලම බලන්න.

අසම්මතයේ ඉඳන් ලියවෙන මේ කතන්දරයේ අයිතිකාරයා ඔයා, මම, එහෙම නැත්නම් අපි කවුරු හරි වෙන්නත් පුළුවන්.