Sunday, January 2, 2011

ගිම්හාන සිතුවම - 2

ඒ 2009 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ. සුපුරුදු විදියටම උදේ ඇහරලා වැඩට යන්න මං ලෑස්ති වුනා. අනිත් හැමෝටම නිවාඩු දීල. ඒත් මං විතරක් වැඩට යනව. හීතල කාලෙ හින්දා ගෙදෙට්ත වෙලා නිදා ගන්න තිබ්බ නම් කොච්චර දෙයක්ද කියලා හිතුන වාර අනන්තයි. ඒ කාලෙට උදේට නැගිටිනව කියන්නෙ මරන්න වගේ. ඒත් බැහැයි කියල බෑ නෙ. මගේ හිත කලකිරිල තිබ්බ කාලයක් ඒක. ආදරයක් හින්ද හෙම්බත් වෙලා අන්තිමත ආදරයක් අතඇරලා දැම්ම කාලයක්. ඒ ආදරේ නැවතිලා වැඩි දවසක් ගිහින් තිබ්බෙ නෑ. ඒත් හිතේ තිබුනේ දුකකටත් වඩා කළකිරීමක්. මොනා කරන්නද කියල හිතා ගන්නත් බෑ. ලොකු පාළුවකුත් දැනෙනවා. අලුත් ආදරේක ඕනැකමකුත් දැනෙනවා. මගේ හිතේ දැන් තියෙන්නෙ හෙම්බත් වුනු ගතියක්.

ඇඳුම් ඇඳල ලෑස්ති වෙලා එහෙම වෙනද වගේම වෙලාවට එදත් මං වැඩට ගියා. මහා ලොකු වැඩක් නම් නොතිබුන ගානයි. කොහොමත් අපේ වැඩපළේ ගොඩක් දෙනා ඉතින් හැම තිස්සෙම ෆේස්බුක් එකේමයි. ගේම් ගහනවා, කමෙන්ට් කරනවා එක කෙලියයි. මගෙත් ඉතින් වැඩි වෙනසක් නෑ. මාත් ඉතින් හැමෝම වගේ ඕකෙ තමයි දවසෙම. වැඩ වැඩියෙන් තියෙන කාලෙට නම් ඕක පැත්තෙ යන්න ලැබෙන්නෙවත් නෑ. ඒත් මේ දවස් ටිකේ ටිකක් නිදහසේ ඉන්න පුළුවන්.

සැරින් සැරේ මගේ කලින් ආදරෙත් මතක් වෙනව. ඒත් මොනව කරන්නද? මට ඒ ගැන දැන් හිතන්න බෑ. ඒක ආයෙත් පටන් ගත්තොත්... කලින් වගේම මට දුකෙන් ආදරේ කරන්නයි වෙන්නේ. මං කොහොමද හාමුදුරු කෙනෙක් වගේ හිතන කෙනෙක් එක්ක ආදරේ කරන්නේ? ඒත් මං එයාට ඇත්තටම ආදරේ කරා. ඒත් ඒ ආදරේ එයාට තවත් අනිත්‍ය දෙයක්. මට මගේ ජීවිතය වගේ තිබුනෙ ඒ ආදරේ. ඒත් රුවන්ත අයිය හිතාගෙන හිටියේ මම එයාට ආදරේ කරන්න ගත්තේ එයා කුඩු ගහලා පුනරුත්තාපනය වෙලා හිටියයි කියපු කතාව අහලා දුක හිතිලා කියලයි. ඒත් මං ඒ දේ නිසා නෙවෙයි රුවන්ත අයියට ආදරේ කරන්න ගත්තේ. ඒකත් මාස හතකින් බොඳ වෙලා ගියා. ඒත් එයා හොඳ කෙනෙක්. මොනා කරන්නද. හැටකට විතර ආදරේ කරන්න වෙන එක මගේ දෛවයේ ලියවුනු දෙයක් වෙන්න ඇති. මොකද රුවන්ත අයිය මගේ හයවෙනි ආදරේ. අංකය කොහොම වුනත් ඒ සම්බන්ධයත් මට ලැබුණු ලොකු අත්දැකීමක්.

ෆේස්බුක් එකත් දැන් හරිම බෝරිං. කවුරුත් නෑ කතා කරන්නවත්. තියෙන ගේම් හිටන් දැන් ගහලම ඇති වෙලා. ඔෆිස් එකෙන් බාගෙකට වඩා එළවළු වවනව හිටු කියල. තව සමහරු බෝල ගහනව. මම උඩ බලන් කල්පනා කර කර ආදරේ ගැන හිතනවා. ඒ අතරේ අනම් මනම් නම් ටයිප් කරල ෆේස්බුක් එකේ සර්ච් කරනව. කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි හිතට එන නම් මතක් කර කර ටයිප් කරනව.

ඔය අතරෙම එක පාරම මගේ ඇස් එක වෙලාවකදි සර්ච් රිසල්ට්ස් වල එක තැනක නතර වුනා. මම තාමත් බලාගෙන ඒ දිහා. මම හිතන්නේ මගේ හුස්ම නතර වුනා වගේ. පපුව ගැහෙන්න ගත්ත. මට ඒ සද්දේ ඇහෙනවා වගේ. ඇඟට දාඩියත් දාන්න වගේ ගත්තා. මට හිතුනා මම මේ බලන් ඉන්නේ කා දිහාද කියලා. රුවේන් සේනාධීර. මේ මම කලින් ආදරේ කරපු රුවේන්මද? මං කලින් වතාවකදි රුවන්තත කලින් ආදරේ කරපු රුවේන්? ඒත් සර්නේම් එක වෙනස්. ඒ මුහුණුවරමයි. මේ එයාවත්ද? නෑ නෑ එයා වෙන්න බෑ. මේ වෙන කෙනෙක්. ඒත් මට පුළුවන් වෙයිද රුවේන්ට වචනයක්වත් කියන්න? මට මුකුත් ඒ වෙලාවේ හිතා ගන්න බෑ. ඒ ප්‍රොෆයිල් පින්තූරෙ මගේ හිතට ගොඩක් කිට්ටුයි වගේ දැනෙනව. ඒ ඇස් දෙක, ඒ පෙනුම, ඒ හැම දේම..... මගේ ජීවිතේ ඒ වගේ හිත ඇදුන කොල්ලෙක් කවදාවත් දැකල නෑ. සංසාරෙ බැඳීමක් වගේ. ඒත් මෙයා...., මෙයා කොහොම කෙනෙක් වේවිද? තවත් පිරිමි ළමයෙක්ට කැමති වෙන විදියේ කෙනෙක්ද? ප්‍රශ්ණ කන්දරාවක් මැද්දෙ මම තනිවෙලා. මට මෙයාගෙ ලඟට කවදාවත්ම යන්න බැරි වුනොත්? මට තේරෙන් නෑ මේ දේ. හරි, මම කෝකටත් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දානවා. එයා ඒක ඇක්සෙප්ට් කරොත් එතනින් එහාට සිද්ධ වෙන දෙයක් වුනාවෙ. මේක ඇක්සෙප්ට් කරොත් මෙසේජ් එකක් දානව. ඊට පස්සේ බලමු මොකද වෙන්නෙ කියල.

1 comment:

හිස් අහස said...

ඔය වැඩේ ප්‍රශ්න ගොඩකට මුල වෙන්න පුලුවන් . ඒත් මම ඔයාට සුබපතනවා . ඔයා ගොඩ යන්න කියලා ..

අලුත් බ්ලොග් එකක් .. මම ඔන්න පලමු පාඨකයා උනා එහෙනම්

දිගු ගමනකට්‍ කෙටි සුබ පැතුමක් ඔබට ..

ජය වේවා !!

Post a Comment